අපගේ දැක්ම
තිරසාර සංවර්ධනය හා ඵලදායී රාජ්‍ය සේවය.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා මහජනතාවගේ සහභාගීත්වය ඇතිව කාර්යක්ෂම ,තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් කලාපයේ ජනතාවගේ ජීවිත නගා සිටුවීම.හැදින්වීම
පසුබිම
- කොට්ඨාශය පිළිබඳ පසුබිම් විස්තරය
පිහිටීම භූමි ප්‍රමාණය හා පරිපාලන රටාව

උතුරින් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද දකුණින් ඇඹිලිපිටිය හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද, බටහිරට ගොඩකවෙල හා ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින් ද නැගෙනහිරින් බලංගොඩ හා කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම්ව මෙම කොට්ඨාශය පිහිටා ඇත.
- භූමි ප්‍රමාණය - ව.කි.මී. 163.98
- ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණය - 30
- ගම් සංඛ්‍යාව - 175
රජයේ ප්‍රධාන කාර්යාලය ලෙස වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පමණක් ඇත.ඒ හැර පහත සඳහන් ආයතන ද වැලිගෙපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන කටයුතු සඳහා දායක වේ.
- භූ විෂමතාව
ප්‍රදේශයේ වයඹ-ඊශාන_උතුර- යන මායිම්වල උස් බිම් දක්නය ඇත.ප්‍රධාන කඳු වැටි තුනක් දක්නට ඇත.එනම්
- පනාන කඳු වැටිය
- රංවල කඳු වැටිය
- දළුක්ගල කඳු වැටිය
රංවල කඳු ප්‍රදේශය,මැදගංඔය කඳු ප්‍රදේශය,කොට්ටිඹුල්වල කහංගල කඳු ප්‍රදේශය,පනාන කඳුවැටි ප්‍රදේශය වැලිගෙපොල ප්‍රදේශය ලේකම් කොට්ඨාශයේ වයඹ - ඊශාන- උතුර යන මායිම්වල පිහිටි උස් බිම් ලෙස දක්නට ලැබේ.එම කඳු වැටි වල සාමාන්‍ය උස මීටර් 1000ත් 3000ත් අතර වේ. සමස්තයක් ලෙස මුළු ප්‍රදේශය ලේකම් කොට්ඨාශය ගත් කල මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක් පමණ වේ.
මෙම ප්‍රදේශයේ දළුක්ගල කඳුවැටිය භෞතික ලක්ෂණ අතින් ඉතා වැදගත් ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරයි. ඒවා අතරින් මොහොර නිම්න, බෑවුම් වැනි භූ ලක්ෂණ ප්‍රධාන වේ.දකුණු ,ගිණිකොණ දිග ප්‍රදේශ කොට්ඨාශයේ ඇති තැනිතලා ලෙස දැක්වීමට හැකිය. මෙම තැනිතලා ප්‍රදේශ මුළු බිම් ප්‍රමාණයෙන් 30%ක් පමණ වේ
සමස්තයක් ලෙස ගත් කල ප්‍රදේශය භූ විෂමතාවය අනුව ගිණිකොණ දිග සහ වයඹ දිගට කඳු වැටි විහිදීමක් හා ඒවායේ උන්නතාංශය ද ඒ හා සමාන පිහිටීමක් ද දක්නට ලැබේ. ප්‍රදේශය වයඹ දිගින් පිහිටි උස් බිම් නිසා නිම්න රාශියක් දක්නට ලැබේ.ප්‍රධාන ගංඟා වූ කටුපත් ඔය,කුඩා ඔය ආරම්භ වන්නේද මෙම ප්‍රදේශයෙනි ගිණිකොණ දිග පිහිටි පුස්සතොට,ගල්පාය,මුත්තෙට්ටුපල,බඹරගල වැනි ප්‍රදේශ රැලි බිමක් ලෙස දැක්වීමට හැකිය.එහි තැනින් තැන ඇති බඹරගල කන්ද වැනි ශේෂ කඳු උදාහරණ ලෙස දැක්විය හැකිය.
- දේශගුණය
කොට්ඨාශයේ ගිණිකොණ හා නැගෙනහිර කොටස්වල වියලි දේශගුණයක් දක්නට ඇත.එසේම උතුර හා වයඹ,ඊශාන ප්‍රදේශ තෙත් දේශගුණයක් පෙන්නුම් කරයි. ප්‍රදේශයේ පිහිටීම අනුව ගිණිකොණ සිට වයඹ දක්වා දේශගුණික රටාව වෙනස් වීමට භෞතික පිහිටීම ද හේතුවන බව පැහැදිලිව පෙනේ.මෙයට සමාන අයුරින් වාර්ෂික වර්ෂාපතනය ද වෙනස් වන අයුරු දක්නට ඇත.ගිණිකොණ දිග ප්‍රෙද්ශයේ මිලි මීටර් 1500ක් ද වයඹ දිග කොටස්වල මි.මී.2000ක වර්ෂාපතනයක් ද දක්නට ලැබේ.
සමස්තයක් ලෙස වර්ෂය පුරාම අධික උෂ්ණත්වයක් ඇතත් ගිණිකොණදිග ප්‍රදේශයේ අධික උෂ්ණත්වයක් පෙන්නුම් කරයි.වාර්ෂිකව සාමාන්‍ය උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 25ත් -35ත් අතර වේ. ප්‍රදේශය වශයෙන් බලන කල මෙහිද වෙනස්කම් කිහිපයක්ම දක්නට ඇත.උන්නතාංශය හා වර්ෂාපතනය අනුව බලන විට ගිණිකොණ සිට වයඹ දක්වා උෂ්ණත්වය අඩුවීමක් දක්නට ලැබේ.එසේම වයඹ දිග කොටස්වල වර්ෂාව වැඩි වීමක් දක්නට ඇති අතර එම ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වීමක් දක්නට ලැබේ.එම කඳු ප්‍රදේශවල ඉතිරි වී ඇති වනාන්තර නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බව පෙනේ.එසේම අඩු වර්ෂාපතනයක් ඇති ගිණිකොණ දිග ප්‍රදේශය උෂ්ණත්වය වැඩි විමක් ද පෙන්නුම් කෙරේ.
- ජලවහනය
ප්‍රදේශයේ ප්‍රධාන ගංඟා දෙකකි.
- කටුපත් ඔය
- කුඩා ඔය
රංවල, මැදගංඔය ප්‍රදේශවලින් පටන් ගන්නා කුඩා ඔය මෙම කොට්ඨාශයේ ඇති ප්‍රධාන ගංඟාවයි.මෙයට මැදගංඔයත් එකතුව ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පසුකරගෙන ගොස් උඩවලවේ ජලාශයට එකතු වේ.
පනාන කඳුවැටියෙන් පටන් ගන්නා කටුපත් ඔය තවත් අතු ගංඟා කිහිපයක් සමඟ එක් වී හඳගිරිය, කපුගල ඔස්සේ ගලා ගොස් වලවේ ගඟට එක් වේ.මේ හැර කුඩා ඔයවල් කිහිපයක් ද ප්‍රදේශය පුරා විහිදී පවතී.
- එළමල්පේ ඔය
- මදගංඔය
- මී ගම්මන ඔය
- වෙඳගේ ඔය
- රත්මල් ඔය
ඉන් කිහිපයකි.
මේ හැරෙන්නට ප්‍රදේශය පුරා විහිදී ඇති කුඩා වැව් කිහිපයක් ද ඇත.
- රංවල වැව
- අම්බැවිල වැව
- මළකඳුර වැව
- පළුගහවෙල වැව
- කෝනකටු ආර වැව
- වැලිගෙපොල වැව
- පස
පස් වර්ගීකරණය අතින් මෙම කොට්ඨාශයේ එකිනෙකට වෙනස් පස් වර්ග ඇත.කළු පස්,දුඹුරු පස්,රතු පස්,වැලි පස්,මැටි පස් හා බොරළු පස් යන පස් වර්ග මේ අතරින් වැදගත් වේ.විශේෂයෙන්ම බොරළු හා රතු පස් ප්‍රදේශයේ උතුරු හා වයඹ දිග ප්‍රදේශවල බෙහෙවින් දක්නට ඇත. ප්‍රදේශයේ මධ්‍යයේ ඇති වසම් කිහිපයක ( තලගස්කන්ද, අම්බැවිල,පුස්සතොට) මැටි පස් (කරමැටි) බෙහෙවින් ඇත.දුඹුරු හා රතු පස් ප්‍රදේශය පුරා විහිදී ඇත.මෙම පස් වර්ෂාව අඩු උෂ්ණත්වය වැඩි හඳගිරිය, හඳගිරිගොඩ, මඟයාය ගල්පාය, පුස්සතොට, මුත්තෙට්ටුපල යන වසම් වල දක්නට ලැබේ.
භෞතික පිහිටීම අනුව පසේ සාරවත් බව ද වෙනස් වේ.වයඹ-උතුරු ප්‍රදේශවල පසේ සාරවත් බව අඩුය. හේන් ගොවිතැන් කිරීම, තේ වගා කිරීම වැනි වගාන් නිසා පස සේදී යන ස්වභාවයක් දක්නට ඇත.මේ නිසා කඳුකර ප්‍රදේශයේ සමහර තැන්වල නාය යෑම් ද එමෙන්ම ඛාදනය නිසා කළු ගල් ද මතු වී ඇත.නමුත් ප්‍රදේශයේ දකුණු - ගිණිකොණ දිග ස්ථාන වල පසේ සාරවත් බව අධිකය.එයට හේතුව අධික වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට නොලැබීමයි.
වර්ෂාපතනයට හා උෂ්ණත්වයට භෞතික සාධක හේතු වන්නා සේම පාංශු ඛාදනයට ද භෞතික සාධක බලපාන බව පෙනේ.විශේෂයෙන් උතුරු- වයඹ ප්‍රදේශවල තේ වගාවන් නිසා පාංශු ඛාදනය වැඩි වී ඇත.වර්ෂාව වැඩි නිසාත්, තේ ඉඩම්වල තණකොල අදිය උදළු ගෑම නිසාත් පස සෝදා යාම තවත් වැඩිය.එම ප්‍රදේශවල කැලෑ ඉඩම්ද එළිකිරීම නිසා ජලය රදා ගැනීම ද ඉතා අඩුය. මේ නිසා මෙම ප්‍රදේශය සංරක්ෂණය කිරීම දැනට වඩා ක්‍රමවත් බවකින් කල යුතුව ඇත.පනාන, ඉළුක්කුඹුර ඛාදනයට ලක්වී ඇති ප්‍රදේශ ලෙස දැක්වීමට හැකිය.
- ස්වාභාවික වෘක්ෂලතා
මෙම කොට්ඨාශයේ දක්නට ඇති සියලුම ස්වභාවික වනාන්තර ද්විතීක වනාන්තර ලෙස දැක්වීමට හැකිය.මූලික වනාන්තර විනාශ කිරීමෙන් පසුව ඇති වී ඇති මෙම ස්වභාවික වනාන්තර ද විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා ඇත.එය පහත සඳහන් සංඛ්‍යා ලෙඛන වලින් පැහැදිලි වේ.
- අම්මඩුව මූකලාන අක්කර - 110
- පනාන කන්ද අක්කර - 57
- කඩිගල මූකලාන අක්කර - 81
- බඹරගල අක්කර - 82
- දඩකාර මූකලාන අක්කර - 51
ජන ව්‍යාප්තිය අනුව කැලෑ බිම් සීමා වී ඇති අයුරු පැහැදිලිව පෙනේ.වර්ෂාපතනයත්, උෂ්ණත්වයද ස්වාභාවික වෘක්ෂලතා වැඩි වීමට ඉතාමත් හිතකරය.මේවා බොහෝවිට ගස් මුදුනේ එකිනෙකට ගෑවී වියනක් සේ පෙනේ.කුඩා ගස් වර්ග, පදුරු ඇදියෙන් යුත් යටිරෝපණයක් ද පිහිටා ඇත.මෙම වනාන්තර වල හොර, කීන, බුරුත, කළුවර, පළු, නෙල්ලි, කොහොඹ ආදී ගස් වර්ග හොදින් වැඩේ.
- ප්‍රධාන ආදායම් මාර්ග
ජලය යහමින් ලැබෙන උස් බිම් ප්‍රෙද්ශවල තේ,රබර් වගාවන් දක්නට ඇති අතර පහත් බිම් ප්‍රදේශවල පොල්, වී යන වගාවන් යොදා ඇත.ශුෂ්ක දේශගුණයක් ඇති ගිණිකොණ දිග ප්‍රදේශවල වියලි ධ්‍යාන්‍ය හා පළතුරු වගා කරයි. ප්‍රදේශයේ වැඩිදෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැනයි.එය කොටස් දෙකකින් යුක්තය.
- අපනයන කෘෂිකර්මය
- පාරිභෝගික කෘෂිකර්මය
අපනයන කෘෂිකර්මය කෙරෙන ප්‍රදේශ ලෙස වයඹ - උතුරු ප්‍රදේශ දැක්වීමට හැකිය.ඒවායේ තේ, රබර්,පොල් වගා කරනු ලබයි. මෙම වගාවන්ගෙන් විශාල ලෙස වගා කරනු ලබන්නේ පොල් වගාවයි.එය අක්කර 8104 කි. එමෙන් ම රබර් අක්කර 485ක් ද තේ අක්කර 2955ක් ද ප්‍රදේශයේ දක්නට ඇත. ප්‍රදේශයේ තේ සඳහා කර්මාන්ත ශාලාවක් නැති නිසා පුද්ගලික වෙළෙඳුන්ට අමු තේ දළු විකුණනු ලබයි.
පොල් වගාව ද අනිකුත් වගාවන්ට වඩා වැඩි වශයෙන් වගා කළ ද අක්කර 50ට විශාල පොල් වතු එතරම් දක්නට නැත.කෙසේ වුවද පොල් ගසේ විවිධ දේවලින් ප්‍රයෝජනය ලබා ගන්නා සැටි පෙනේ.මෙම පොල් වලින් කොටසක් ප්‍රයෝජනයට ගන්නා අතර ඉතිරිය වෙළඳපලට යවයි.පොල් අතු වියා අලෙවි කිරීම , ඉරටු වලින් ඉදල් නිපදවීම , පොල් ලෙලි අලෙවි කිරීම , පොල් කටු අඟුරු අලෙවි කිරීම හා සුළු වශයෙන් කොහු නිෂ්පාදනය ද ප්‍රදේශයේ තැනින් තැන කරනු ලබයි. මේවාට හොඳ ඉල්ලුමක් පවතී.නමුත් නිෂ්පාදිත ද්‍රව්‍යය වෙළඳපළට ගෙන ඒමට ප්‍රවාහන පහසුකම් නොමැත.
වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළින් වී වගාව සඳහා වී වගාව අක්කර 1968ක බිම් ප්‍රමාණයක් අස්වද්දා ඇත.නමුත් ජලය හිඟකම හා නොයෙක් හේතු මත මින් මුළු ප්‍රමාණයම වගා නොකරයි.මෙම කුඹුරු ඉඩම් සුළු වාරි මාර්ග වලින් මෙන්ම අහසක් දියෙන් ද වගා කරනු ලබයි. නමුත් ලබා ගනු ලබන අස්වැන්න ප්‍රමාණය ඉතා සීමිතය.මෙයට හේතු කිහිපයක් දක්නට ලැබේ.
- ජලය හිඟකම
- පාරම්පරික ක්‍රම භාවිතය
- තාක්ෂණික ක්‍රම හා පොහොර භාවිතය අඩු වීම
මේවා අතරින් ප්‍රධාන වේ.
මේ හැරෙන්නට පාරිභෝගික කෘෂිකර්මය ලෙස මාංශ භෝග,එළවළු,පළතුරු වගාව වැදගත් වේ.මාංශ භෝග ලෙස කව්පි,මුං ඇට, කුරකුකන්,තල, මෙනේරි, ඉරිඟු,බතල වැදගත් වේ. බතල වගාව අම්බැවිල,බදුල්ලේගම යන ප්‍රදේශවල ඉතා සරුවට වැඩේ. මේවා එම කුඹුරු වල ශෂ්‍ය මාරුවක් ලෙස කරනු ලබයි. ශුෂ්ක දේශගුණයක් ඇති මුත්තෙට්ටුපල,ගල්පාය,මගයාය,පුස්සතොට යන ගම්වල ඉහත සඳහන් භෝග වගා කරයි.
එළවළු වගාව වියළි දේශගුණයක් ඇති හඳගිරිය, මුත්තෙට්ටුපොල, ගල්පාය, මගයාය, පුස්සතොට, හඳගිරිගොඩ, පොල්ලමුර ප්‍රදේශවල ඉතා සාර්ථකව වගා කරනු ලබයි.පහත රට වැවෙන සෑම එළවළුවක්ම මෙම ප්‍රදේශවල ඉතා හොඳින් වැවේ.පසු ගිය කාලයේ ඉතා සාර්ථක ලෙස හඳගිරිය ප්‍රදේශයේ ගර්කින් වගාව දක්නට ලැබිණි.මේ හැරෙන්නට එම ප්‍රදේශවල රතුළූණු,රටකජු,දුම්කොළ ඉතා හොඳින් වැවේ.මේවා වැඩිපුරම වෙළඳපොලට යැවීම සඳහා වගා කරයි.
පළතුරු වශයෙන් ප්‍රදේශයේ බහුලව වැවෙන්නේ කෙසෙල් වගාවයි. එය ගොවීන් විසින් ගෙවතු වගාවක් ලෙස කරනු ලබයි.නමුත් මෙහි ඇති එකම දුර්වලකම නම් මිල අඩු සීනි කෙසෙල් වීමයි. මෙම වර්ගයේ කෙසෙල් වලට ලෙඩ සෑදෙන්නේ අඩුවෙනි.මිල වැඩි අනෙකුත් කෙසෙල් වර්ග වැවීමට ගොවීන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.අනෙකුත් පළතුරු අතර අඹ, පැපොල්, දෙහි වැදගත් වේ. මේවාද ගෙවතු වගාවක් ලෙස කරගෙන යයි.
සමස්තයක් වශයෙන් ගත් කල ගොවීන්ගේ නිෂ්පාදිත ද්‍රව්‍යය වෙළඳපොලට ගෙන ඒමට පහසුකම් අඩු වීමත් ඔවුන්ගේ නිෂ්පාදනවලට අඩු මිලක් ලැබීමත් පැහැදිලිව දක්නට ලැබේ.එයට හේතු කිහිපයක්ම දැක්විය හැකිය.දැනට පවත්නා ප්‍රවාහන පහසුකම් අඩු වීම, වෙළඳුන් ඉල්ලන මිලකට දීමට සිදු වීම ඉන් කිහිපයකි.මේ නිසා තරගකාරි මිලක් හෝ පවතින මිලක් ගොවීන්ට නොලැබේ. තවද සුළු වෙළඳුන් ගොවි ද්‍රව්‍යය එකතු කර විකිණීම ද කරයි. සෑම අවස්ථාවකදීම ගොවීන්ට නියමිත මුදල් ගෙවීමත් දක්නට නැති නිසා අතරමැදි වෙළෙන්දා පොහොසත් වීමද පැහැදිලිව පෙනේ.















